21 June, 2021

සොහොනෙන් මතුවන මහසෝනා

      අද වන විට අප සිටින්නේ ඉතා දියුණු තාක්ෂණික යුගයක ය. එහෙයින් සම්ප්‍රදායිකත්වය, ග්‍රාමීයත්වය අප කෙරෙන් කෙමෙන් කෙමෙන් පහව යනු දැක ගත හැකි ය. නමුත් ලොව පවත්නා සෑම රටකට ම පාහේ තිබූ හෝ තිබෙන සංස්කෘතිකාංග සහමුලින් ම පුළුස්සා දැමීමට තවමත් නොහැක. එම නිසා එක් එක් රටවල පැවති සංස්කෘතියට ම අයත් ජනප්‍රවාද සම්බන්ධයෙන් ද ඒ ඒ රටවැසියන් තුළ පවතින්නේ විශ්වාසයත් අවිශ්වාසයත් අතරින් පැන නගිනා කුකුසකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාතික රටවල සංස්කෘතියට හිමි වන්නේ ඉහළ ම ස්ථානයයි. ඒ අතර ජනප්‍රවාදවල එන යක්ෂයින්, දෙවියන් පිදීම ද වෙනස් ම වූ සංස්කෘතිකාංගයකි. ඉන්දියාවේ රාවණ, පිසාච, රාක්ෂස, රාමා, ශ්‍රී ලක්ෂ්මි, ඉන්ද්‍ර වැනි අය ද ජපානයේ අබුරා අකාගෝ, අකමන්ටෝ, ෆුජින් වැනි අය ද ශ්‍රී ලංකාවේ කළු කුමාරයා, මහසෝනා, දැඩිමුණ්ඩ දෙවියන්, සුමන සමන් දෙවියන් ආදීහු ද ජනප්‍රවාදවල විශාල ඉඩක් හිමි කරගෙන සිටිති. මේ අතරින් මහසෝනා යනු එක් සුවිශේෂී පුද්ගලයෙකි. මහසෝනා යනු යක්ෂයෙක් බව බොහෝ දෙනෙකු දැන සිටිය ද එම චරිතය නිර්මාණය වී ඇති ආකාරය දන්නේ සුළු පිරිසකි. මෙම චරිතය ආශ්‍රිත ව නොයෙකුත් මතවාද පවතින අතර වැඩි දෙනෙකු දරන මතය අනුව මෙම ලිපිය සැකසු නමුදු මෙයට හාත්පසින් ම වෙනස් කතාන්දර ද පැවතිය හැකි ය.

     ලාංකිකයින් වශයෙන් මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජකු ලෙස දුටුගැමුණු රජතුමා හැදින්විය හැකි බව අපි දන්නෙමු. රට විදේශීය ආක්‍රමණවලින් ගලවා ගැනීමට මෙන් ම ආගමික සංවර්ධනමය කටයුතුවලට ද එතුමා උරදුන් බව මූලාශ්‍රවල සදහන් ය. එමෙන් ම අප කවුරුත් අසා ඇති දසමහා යෝධයින්ගේ සේනාව අයත් ව තිබුනේ ද මොහුට ය. එම යෝධයින් යටතේ අනු සේනාවන් ද වූ අතර ඉන් එක් සේනාවක 'ජයසේන' නම් රිටිගල පෙදෙසෙහි වාසය කළ, අංගම්පොර ශූරී, 'ගෝඨයිම්බර' නම් යෝධයාගේ මිත්‍ර සෙන්පතියෙකු විය. දිනක් ගෝඨයිම්බරගේ නිවසෙහි පැවති ප්‍රිය සම්භාෂණයකට රිටිගල ජයසේන ද ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ අතර එහිදී ගෝඨයිම්බරගේ බිරිඳ සම්බන්ධයෙන් ජයසේන සහ ගෝඨයිම්බර අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඉන් දින කිහිපයකට පසු 'තම්බපණ්ණි සුසානය' නම් ස්ථානයේදී ද්වන්ධ සටනක් ඇති විය. මෙහිදී ජයසේන විසින් සෙනසුරු දෙවියන්ට නමස්කාර කරමින් සටනට සැරසෙන අතරදී ගෝඨයිම්බර විසින් එල්ල කළ පා පහර හමුවේ ජයසේනගේ හිස කඳින් වෙන් වී රිටිගල ප්‍රදේශයේ කරඹ ගසක රැඳී ඇති අතර අද එම ස්ථානය 'ඔළුකරඳන' නමින් හැඳින්වෙන බව පැවසේ. තම භක්තිවන්තයාට සිදු වූ විපත දුටු සෙනසුරු දෙවියන් හැකි විගස පැමිණ ජයසේනගේ හිස සෙවූ නමුත් එය හමු නොවූ හෙයින් ඒ අසල සිටි වලසෙකුගේ හිසක් ගලවා ඔහුට සවි කොට ඇති අතර දැඩි කලබලකාරී බව නිසා මුහුණ පිටිපසට සිටින ලෙස සවි කොට ඇත. (හිස ගලවාගත් වලසා ත්‍රීකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටා තිබූ සෙනසුරු කෝවිල් භූමියෙන් සොයාගත් බව ද පැවසේ.) එසේ පණ ලැබූ ජයසේන එතැන් පටන් රියන් 18ක් උස, ඇස් 3ක් හා අත් 4ක් ඇති, වලස් හිසෙන් හා කළු පැහැති සුනඛයෙකුගේ සිරුරකින් හෙබි යක්ෂයෙකු බවට පත් ව ඇත. මොහු සුසාන භූමිවල, තුන්මං හන්දි, දෙමං හන්දි, හතරමං හන්දි, ආදියෙහි මෙන් ම පාලු ස්ථානවල ද සිටින බවට ඇතැමුන් විශ්වාස කරති. රාත්‍රී කාලයේ ගම් දනව් පුරා සැරිසරන මෙම යක්ෂයා තම ආවේශය පැතිරවීමට කළු බල්ලන් ව යොදා ගන්නා බවට මතයක් පවතින අතර මෙරට බොහෝ දෙනා කාල වර්ණ සුනඛයන්ට යම් බියක් දැක්වීමට එය ද එක් හේතුවකි. එමෙන් ම තම ගමන් මග අවුරන ඕනෑම අයෙකු මහසෝනා විසින් මරා දමන්නේ එම පුද්ගලයාගේ උරහිසට/කොන්දට මාරක පහරක් එල්ල කිරීමෙන් වන අතර පහර කෑ පුද්ගලයා සැනින් මැරී වැටෙන්නේ යක්ෂයාගේ අත් සලකුණ ද සමඟිනි. එපමණක් නොව මොහුට,
. ලේ සොහොන් යක්ෂයා 
. ජය සොහොන් යක්ෂයා 
. අමු සොහොන් යක්ෂයා 
. මරු සොහොන් යක්ෂයා 
ආදී ලෙසින් විවිධ ස්වරුපවලින් යුක්ත අවතාර 5ක් ද ඇති බවට විශ්වාසයක් පවතී.
     
     මෙම කතා පුවතට අමතර ව මහසෝනා ආශ්‍රිත ව විවිධාකාර වූ මත තිබෙන අතර ඒවා සියල්ල ම නොමැති වුවත් සැලකිය හැකි ප්‍රමාණයක් පහත ලෙසින් දැක්විය හැකි ය. 

1. ජයසේන යනු,
   ➤ ශක්ති සම්පන්න යෝධයෙකි.
   ➤ යක්ෂ ගෝත්‍රික සෙන්පතියෙකි.
   ➤ අනාර්ය ජන ප්‍රධානියෙකි.            

2. ගෝඨයිම්බර යෝධයාගේ නිවසේ පැවතියේ,
  ➤ ඔහුගේ මංගල උත්සවයයි.
  ➤ ගෙට ගෙවැදීමේ උත්සවයකි.
  ➤ දුටුගැමුණු රජුගේ විජයග්‍රහණයක් සැමරීමේ උත්සවයකි.
                 
3. ගෝඨයිම්බර සහ ජයසේන අතර ගැටුමට මුල් වුයේ,
  ➤ ජයසේන විසින් ගෝඨයිම්බරගේ බිරිඳට නොමනා බැලුම් හෙලීම.
  ➤ ජයසේන හා ගෝඨයිම්බරගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාව. 

4. ගැටුම අතරතුර ජයසේනගේ හිස විසි වී ගිය පසු,
  ➤ ජයසේන විසින් ම අසල සිටි වලසකුගේ හිසක් තම සිරුරට සවි කර ගත්තේ ය.
  ➤ ගෝඨයිම්බර විසින් ජයසේනට වලස් හිසක් සවි කළේ ය.
  ➤ ජයසේන වලස් දඩයක්කරුවකු ලෙසින් ප්‍රසිද්ධ හෙයින් ඔහුට ගෞරව පිණිස වලසකුගේ හිසක් සිරුරට බද්ධ කොට භූමදානය කිරීම. 

5. මහසෝනා යනු,
  ➤යක්ෂ සේනාවක සෙන්පතියෙකි.
  ➤ දේවතාවෙකි. 

එමෙන් ම මෙරට ගම්මුන් මධ්‍යම රාත්‍රී 12ට මළසිරුරු භූමදාන නොකිරීමට ප්‍රධාන හේතුව ලෙස මහසොහොන් යක්ෂයා දැක්විය හැකි අතර බලන් සිටිද්දී ඔහු උස යන බව ද ගමන් කරනවිට ගස්වල අතු කඩෙන බවට ද මෙරට ඇතැම්හු විශ්වාස කරති.
                                          
                                          
     මහසෝනා යනු මෙරට බලගතු ම යක්ෂයා බව ඇතැම් ලාංකිකයෝ පිළිගනිති. එනිසා ම ඔහුට වැඳුම් පිදුම් කිරීම ද දක්නට ලැබේ. ඒ අතරින් 'මහසොහොන් සමයම' ප්‍රධාන ය. මෙය දකුණු පළාතේ විශේෂයෙන් මාතර, හම්බන්තොට වැනි ප්‍රදේශවල පවත්වන අතර එයට හේතුව අන් පෙදෙස්වල 'මහසොහොන් යක්ෂයාට බලයක් නොමැති බව' ලෙසින් මතයක් පවතී. මහසොහොන් සමයමේදී පුද ලබන ප්‍රධාන ම යක්ෂයා මහසෝනා වන අතර මෙමගින් අතීත ලක්දිව පැවති ආර්ය-අනාර්ය ගැටුම් නිරුපණය කෙරේ. ඊට අමතර ව මහසොහොන් යක්ෂයාට දේවාල ඉදිරිපිට පහන් තැබීම ද ඇතැම්හු සිදු කරන අතර එමඟින් යක්ෂ වරම් ලැබෙන බවට සුළුතරයක් අතර යම් මතයක් තිබේ. එමෙන් ම මහසෝනා සංකල්පය ඇසුරින් අද වනවිට මෙරට ටෙලිනාට්‍ය,සිනමාපට වැනි කලා නිර්මාණ මෙන් ම පරිගණක ක්‍රීඩා පවා නිෂ්පාදනය වනු දැකගත හැකි ය. එවැනි නිර්මාණ කිහිපයක් ලෙස,

     ͎  අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යය - හෙන්රි ජයසේන මහතා
     ͎ බන්ධනය චිත්‍රපටය                 - උදයකාන්ත වර්ණසූරිය මහතා 
     ͎ මහසෝනා කෙටි චිත්‍රපටය      - ලංකා බණ්ඩාරනායක මහත්මිය 
ආදිය දැක්විය හැකිය.

     මහසෝනා සම්බන්ධයෙන් මති මතාන්තර වැඩි වශයෙන් ම පිළිගැනීමට ලක් වන්නේ මෙරට ගම්බද පෙදෙස් ආශ්‍රිත ව ය. අද වනවිට එම ප්‍රදේශ ද නාගරීකරණය වෙමින් පැවතීම, විදුලිය, මහා මාර්ග, ජනාකීර්ණ බව මෙන් ම මිත්‍යාවන් නොපිළිගන්නා සමාජයක් ද බිහි ව ඇති හෙයින් මෙවන් ජනප්‍රවාද ආශ්‍රිත කථිකාවන් ඇති වීම අවම ය. නමුත් ඇතැම්විට මෙවැනි සිදුවීම් ඔබ මෙම ලිපිය කියවන මොහොතේදී ද සිදු වනවා විය හැකි ය. ඇතැමෙකු මෙවන් දේ තරයේ පිළිගන්නා අතර ඇතැමෙකු තරයේ ප්‍රතික්ෂේප කරයි. ජනප්‍රවාද සහ මිත්‍යා මතවල පවත්නා සත්‍ය අසත්‍යතාව එදා මෙන් ම අදත් අභිරහසක් වන අතර ඇතැම්විට අනාගතයට ද එය අභිරහසක් ම විය හැක.