12 February, 2021

අතුරු මිතුරු - වත සුමිතුරු

'අතුරු මිතුරු දඹදිවතුරු 

රාජ කපුරු සෙට්ටියා 

සෙට්ටි බුලත් තම්බාලා 

වැට අයිනේ පුන්යාලා

ඉතුරු ගහට...'

     එක් පද පෙළක් ඇසුන සැනින් කාට කාටත් ළමා කාලය සිහිපත් වන අපූරු ක්‍රීඩාවක් ලෙස 'අතුරු මිතුරු' හැඳින්විය හැකි ය. කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද ඉමහත් කැමැත්තක් දක්වන, මේ වනවිට අභාවයට යමින් පවතින අතුරු මිතුරු සෙල්ලමෙහි උපත පිලිබඳ ඔබ මිට පෙර අසා තිබුණා ද? මේ ඒ පිළිබඳවයි.

     මෙය සීතාවක රාජධානිය දක්වා දිවෙන කතාවකි. එකල මෙරට රජ කළ රාජසිංහ රජ දවස ඉන්දියාවෙන් එන පෙරුමාල්වරු සත් දෙනාගෙන් 'අරිට්ඨ' නම් පෙරුමල්වරයා රජු සමඟ ඉතා මිතුරු වන අතර පසු ව 'මාන්නප්පෙරුම මොහොට්ටි' නමින් සිංහල අයෙකු වෙනවා. මොහු උපායට මෙන් ම රණකාමිත්වයට ද දක්ෂයෙකි. රාජසිංහ රජුගේ  මරණයෙන්  පසු ව එතුමාගේ මුණුබුරකු වන 'රාජසූරිය' කුමරුගේ රජවීමට අකමැති වන මාන්නප්පෙරුම උපායකින් ඔහු ඝාතනය කොට රාජසිංහ රජුගේ සොයුරියගේ පස් වියැති 'නිකපිටියේ බණ්ඩාර' කුමරු සිහසුනට පත් කොට පරිපාලනය තම සුරතට ගත්තේ ය.        

 කලක් යන විට රජකමට ආශාවක් ඇති වූ මාන්නප්පෙරුම ඒ වෙනුවෙන් රාජසිංහ රජුගේ සොයුරියගෙන් ඇගේ දියණිය විවාහ කර ගැනීමට අවසර පැතී ය. ඇයට මේ සඳහා විරෝධය පළ කිරීමට නොහැකි වූයේ ඒ වනවිටත් සියලු බලතල ඔහු සතු ව පැවති හෙයිනි. නමුත් ඇය මේ පිලිබඳ 'අතපත්තු ආරච්චි' නම් තැනැත්තාට දන්වා සිටි අතර ඔහු කළේ මාන්නප්පෙරුම ව අපහාසයට නගා කැලෑ පත්තරයක් ගැසීම පමණි. 

'..... පය දීලා අතක් ගනින් කිබිත්තෝ 

අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා 

ඉහල ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා 

කළු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළුලන තුරු

බලා හිඳින් සෙට්ටියෝ...'

     කිසිඳු දිනෙක සිංහල මනාලියක් සෙට්ටියා හෙවත් පෙරුමාල්ට නොලැබෙන බව කියැවෙන මෙම කවිය ඔහු දකිනා සෑම විට ම ගායනා කරන්නට එකල ගැමියෝ පුරුදු වූහ. එම ලැජ්ජාව ඉවසාගත නොහැකි ව මාන්නප්පෙරුම සිතාවකින් පලා ගිය බව අසන්නට ලැබේ. 

     පසු ව මෙය ක්‍රීඩාවක් ලෙස පැවතුන ද මුලදී අපහාසයට යොදාගත් බව ඒ අනුව පැහැදිළි වේ. මේ පිලිබඳ ව විවිධ මතවාද පවතින අතර ප්‍රකට මාධ්‍යවේදියකු වන ලක්ෂ්මන් පියසේන මහතා පවසන පරිදි මෙම කවිය මඟින් එකල පැවති දේශපාලන බලපෑම් පිලිබඳ ව කියවේ. ඒ අනුව "අතුරු මිතුරු - දඹදිවතුරු" යන්නෙන් ඉන්දියාව විටෙක මිතුරකු ලෙස ද විටෙක සතුරකු ලෙස ද සිටින වග ඇඟවෙන බව ඔහු පවසයි. මෙම යෙදුම සම්බන්ධ ගීත ,චිත්‍රපට  කොතෙකුත් තිබුණ ද එහි මූලාරම්භය පිලිබඳ ව වැඩි දෙනෙකුට හරි අවබෝධයක් නොමැති බවයි හැඟෙන්නේ. කෙසේ වෙතත් අතුරු මිතුරු යනු ඉතා අපූරු ක්‍රීඩාවක් බව කිව යුතුම ය.  







22 comments:

  1. පුංචි කාලේ මතකයන්.😔❤

    ReplyDelete
  2. Tika welawakata lama kaalayata giya ayemath

    ReplyDelete
  3. Great article 👍 keep it up

    ReplyDelete