25 October, 2020

කළු ඉරිදා


    ලංකාව කියන්නේ බහු ආගමික රටක්. විවිධ විදේශීය ආක්‍රමණ නිසා බහු ආගමික වුණත් ඒ ආශ්‍රිත මත ගැටුම් සිදු වන්නේ කලාතුරකිනි. එමෙන්ම රටේ වැඩි පිරිසක් අන්‍ය ආගම්වලට ද ගරු කරනා අතර තමන් රුචි ආගමක් අනුගමනය කරමින් ජීවත් වේ.

     කතෝලික ආගමට අප සැවොම ගෞරව කරනවා. ලෝක ජනගහනයෙන් 1/3 ක පිරිසක් වන්දනා කරනා බැතිමතුන් සමරන විශේෂ ම දිනය EASTER හෙවත් පාස්කු දිනය යි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහි කරමින් ඔවුහු මෙම දිනය සමරති. නමුත්, 2019 වසරේ පාස්කු දිනය ලංකාවාසීන්ට මෙන් ම ලෝකවාසීන්ට ද ඉතා අඳුරු දිනයක් දිනයක් විය. පාස්කු දිනය සමරන්නට පල්ලිය වෙත ගිය බැතිමතුන් බොහෝ දෙනෙකුට සහ සති අන්තය විවේකී ව ගත කරන්නට සංචාරක නවාතැන්පල කිහිපයක සිටි පිරිසකටත් තම දිවි ගමනට තිත තැබීමට සිදුවිය. එමෙන් ම විශාල පිරිසක් ආබාධිත වූහ. ඒ පිලිබඳ සිහි කිරීම පවා ඛේදජනක ය.  ඉස්ලාම් අන්තවාදයට නැඹුරු වූ ලාංකීය තරුණ කණ්ඩායමක් විසින්, L.T.T.E. ත්‍රස්තවාදය නිමා කොට දස වසරක් යන්නටත් මත්තෙන් මේ පින්බිමෙහි කළ මහා මිනිස් සංහාරය, I.S.I.S. ත්‍රස්තයන් විසින් මෙහෙය වූ පාස්කු ඉරුදින ප්‍රහාරය යි. I.S.I.S. යනු, මේ වන විට ලොව සිටින දරුණුතම අපරාධ සංවිධානයක් ලෙස හැඳීන්විය හැකි ය. මොවුන් ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් වන අතර අන්‍ය ආගමිකයන් ඝාතනය කොට ස්වර්ගස්ථ වීමට බලාපොරොත්තුවෙන් සිටිනා පිරිසකි.  

     මේ වනවිට පිහිටුවා තිබෙන 'පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන සිදු කරන විශේෂ ජනාධිපති කොමිසම'ට පැමිණෙන එකල රජයේ ඉහල නිලයන් දැරූ උදවිය කරනා ප්‍රකාශවලින් අපට පැහැදිලි වන්නේ ඒ මහා විනාශය බොහෝ දෙනෙකු දැනුවත් ව වූ බවත් දැන් දැන් සැවොම අත සෝදා ගනිමින් බෝල පාස් කරනා බවත් ය.   ලංකාවේ නීතිය තිබෙන්නේ දුප්පතාට පමණක් බව ප්‍රකට වන අවස්ථා ඕනෑ තරම් දක්නට තිබේ. කුසගිනි දරන්නට ම නොහැකි තැන වත්තකින් අඹ ගෙඩියක් කඩාගත් අසරණ මවකට එසැනින් ක්‍රියාත්මක වූ නීතියේ දෙවඟන මෙවැනි බරපතල කාරණාවලදී මන්දගාමී වන්නට හේතුවක් නොදනිමි. ඇතැම් රටවල මෙවැනි සිදුවීමක් වූ විට ඒ හා ඍජු සම්බන්ධයක් නොමැති වුවත්, තම අතපසුවීමකින් හෝ එවැන්නක් වූ බව සිතා වරද පිළිගෙන සේවයෙන් ඉවත් වන රාජ්‍ය නිලධාරීහු සිටිති.නොඑසේනම් එවැනි වරදකට නීතිය මනා ව ක්‍රියාත්මක වේ. 

       කෙසේ වෙතත්, මෙරට ජනතාව මේ වනවිට යම් තරමකට හෝ බුද්ධිමත් ව ක්‍රියා කරන බව දක්නට ලැබේ. නව පරපුර ද දැන් දැන් දැනුම්වත් බවින් කටයුතු කරන බව පෙනේ.     

     යම් රටක පාලනාධිකාරිය දැනුවත් ව මෙවන් විපත් සිදු වනවා නම් එරටෙහි ආරක්ෂාව පිලිබඳ කවර කතා ද?

       කුමක් වුව ද මේ වනවිට ඇතැමුන්ගේ දෑත්වල ලේ පැල්ලම් තැවරී හමාර ය. ස්වර්ගස්ථ වන්නට සිතූ පිරිස් නිරයෙහි දුක් විඳිනවා විය හැකි ය. තම තමන් කළ දේවල විපාක ඒ ඒ ප්‍රමාණයන් අනුව එම පුද්ගලයන්ට හිමි වේවි. ඇතැමුන්ට දැනට ම ලැබී ඇත. කෙසේ වෙතත්, අහිමි වූ ආදරණීයයන් නැවත පැමිණෙන්නේ නැත. ආබාධිත වූ අයට පෙර සේ ජීවත් විය නොහැක.  

      කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය. මෙම ප්‍රහාරය දියත් කළ තරුණ කණ්ඩායමේ සියල්ලෙක් ම පාහේ ඉතා උගත් අයවලුන් ය. නමුත්, අන්ධ විශ්වාස විසින් ඔවුන් ව වෙලාගෙන තිබේ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අතර දේවල් විමසා පිළිගැනීම අප සතු තීරණයකි.

මේ පිලිබඳ ව කෙතරම් වචන වැය කළත් මේ වනවිට නොවිය යුත්ත සිදු වී හමාර ය. අවසන් වශයෙන් මෙවන් විනාශයන් නැවත නොවන්නට පුරවැසියන් ලෙස සැවොම වගබලා ගත යුතු අතර කුඩා කල සිට ම දරුවන්ට විමසා ක්‍රියා කිරීම කියා දෙන්න. 

13 October, 2020

ආකර්ෂණය

                යමක් ඇදී ඒමට අපි ආකර්ෂණය කියනවා. එහෙමත් නැත්නම් දෙයක් ළගා කර ගැනීමට , ලබා ගැනීමටත් මේ වචනය භාවිතා කරනවා. ලෝකේ විවිධ වූ ආකර්ෂණයන් තියෙනවා. ගුරුත්වාකර්ෂණය , ලිංගික ආකර්ෂණය , විද්‍යුත් චුම්භක ආකර්ෂණය වගේ ගොඩක් අවස්ථාවන්. මේ ලිපියෙන් ඔයාල ව දැනුම්වත් කරන්නේ මේ අපි කලින් කියපු ආකර්ෂණයේ මූලික පදනම ගැන. ඒ තමයි ආකර්ෂණ නීතිය.
 



     







 👀 මොකක්ද මේ ආකර්ෂණ නීතිය?

           මේ ගැන දන්නා බහුතරයක් මෙන් ම නොදන්නා අයවලුන් ද සිටිනවා. ඉතින් මේ ආකර්ෂණ නීතිය නැත්නම් LAW OF ATTRACTION කියන්නේ අප වටා තිබෙන බලය, චිත්ත ශක්තිය මගින් මෙහෙයවමින් දේවල් ලගා කර ගැනීමයි. 19වන සියවස මුල් භාගයේ දී කරලියට ආ මෙය මේ වන විට මානව දර්ශනවේදයේ නවමු සංකල්පයකි. මෙයට මුල් වුයේ එක්තරා රෝගී පුද්ගලයෙකි.ඔහු නමින් Phineas වේ. බරපතල රෝගයකින් පීඩා විඳී මොහු ටික දිනකින් තම රෝගය පිළිබඳ  එතරම් තැකීමක් නොකොට තමන් නිරෝගී බව සිතමින් කල් ගත කළේ ය. කලක් ගතවන විට එම  රෝගී තත්ත්වය ඔසුවලින් තොරව ම සම්පුර්ණයෙන් සුව වී ඇති බව වෛද්‍යවරුන්ට දැකගත හැකි විය. මෙය කෙතරම් පැරණි සංකල්පයක් වුව ද මේ වනතුරුත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් වී නොමැත. නමුත් ආකර්ෂණ නීතිය පිලිබඳ පොත්පත් රාශියක් රචනා වී ඇත. ඒ පිලිබඳ වූ පළමු කෘතිය වන්නේ 1877දී  රුසියාවේ Helena Blavatsky විසින් රචිත කෘතියයි.


                                                 


           එසේ ලියවී ඇති කෘතින්හි දැක්වෙන විදියට ආකර්ෂණ නීතිය මගින් අපට නිරෝගී බව, ධනය වගේ ම පෞද්ගලික සම්බන්ධකම් වුණත් සංවර්ධනය කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමු ඔයාට , ඔයා කැමතිම වාහනය මිලට ගන්න ඕන කියලා. නමුත් ඔයා ගාව එච්චර මුදලක් නෑ. හැබැයි දන්නවා ද ඔයාට පුළුවන් ඒ ඔයා කැමතිම වාහනය ඔයා ලගට ම ආකර්ෂණය කර ගන්න. ඒ වෙනුවෙන් ඔයාට මේ සරල පියවර අනුගමනය කරන්න පුළුවන්. 
              
          1. මුලින් ම ඔයා ඒ කැමතිම වාහනේ පින්තූර එකතු කරලා නිතර ම පේන තැනකින් තියන්න.
           
          2. ඊළගට ඔයාට සල්ලි නෑ කියන සිතුවිල්ල අමතක කරන්න. 

          3. ඒ වාහනය ලැබුන ම ඔයා කරන දේවල් හිතින් මවන්න. 
             උදාහරණයක් විදියට ඒ වාහනය නවත්වන තැන, ඒකෙන් ගමන් යන විදිය වගේ දේවල්..

                     හැබැයි ඒ දේ මේ දවසේ , මේ විදියට අනිවාර්යෙන් ම ඕන වගේ දේවල් හිතන්න එපා.  චිත්ත ශක්තිය ඒ දේ ඉෂ්ට කරලා දෙයි. ඔයාට තියෙන්නේ වීධානය දෙන්න විතරයි.

                     ආකර්ෂණ නීතියේ තියෙන ප්‍රධාන ම සංකල්පය තමයි චිත්ත රූප මැවීම නැත්නම් visualization. ඔයාට දෙයක් ඕන නම් ඒ දේ දැනටමත් ලැබුන වගේ චිත්ත රූප මවන්න. එතකොට යටිසිත ඒ ගැන අවධානය දක්වලා ඔයාට ඒ දේ ගෙනත් දෙනවා. 

                      සමහරවිට අපි නොදැනුවත්ව ම මේ නීතිය යටතේ දේවල් සිදිධ වෙලා ඇති. ඔයා දැන් ඉන්න තත්ත්වය , මේ වෙනකොට ඔයාට ලැබිලා තියෙන දේවල් ආකර්ෂණ නීතියේ ප්‍රතිපල වෙන්න පුළුවන්. මේ ලිපිය ලියන මට වුණත් නොදැනුවත්ව එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ වගේ ම අනිත් අය වෙනුවෙන් වුනත් අපිට පුළුවන් ආකර්ෂණ නීතිය යොදා ගන්න.  අපිට පුළුවන් රෝගී වෙලා ඉන්න කෙනෙක් සුව කිරීම වෙනුවෙන් යටි සිතට ස්තුති  කරන්න. ඔහු සුව වී ඉන්නා සැටි මවන්න. පිළිකාව වැනි දරුණු රෝගවලට ගොදුරු වුන ඇතැම් පුද්ගලයින් ආකර්ෂණ නීතිය හමුවේ නිරෝගී වූ අවස්ථා  එමටයි.

                     බොහෝ දෙනෙක් නොදන්නවා වුවත්, ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රිය වූ Niki Minaj, Justin Bieber, J.K. Rolling වැනි චරිත තම සාර්ථකත්වය ලගා කොටගෙන ඇත්තේ ආකර්ෂණ නීතිය මගිනි. 

                    කෙටියෙන් ම  කියතොත්  ආකර්ෂණ නීතිය කියන්නේ අපට අවශ්‍ය දේ යටිසිත මාර්ගයෙන් ලබාගැනීමයි. මේ සංකල්පය එදා ඉදන් පැවතියත් ඒ පිලිබඳ අවබෝධයක් කිසිවෙකුටත් තිබී නොමැත. එත් මේ වනවිට ඔබ ඒ පිලිබඳ දැනුවත් ය. ඒසේ නම් ආකර්ෂණ නීතිය අත්හදා බලන්නට ඇරයුම් කරමි. ඉඩෝරයේ දී එය ඔබට සහය වේවි.