2020 යනු, ඉතා අර්බුදකාරී වසරකි. ඒ බව වර්ෂය ආරම්භ වී තෙමසක් පමණ යන විට ඔබ ද වැටහෙන්නට ඇති යැයි සිතමි. ලැව් ගිනි, මහා ජල ගැලීම්, මැලේරියා, කුරුළු උණ ආදී විපත්වලින් මේ වසර අඩුවක් නොවී ය. ඒ අතරින් කොරෝනා හෙවත්, covid - 19 වෛරසය ප්‍රධාන ම උවදුර වේ.
මෙම ලිපිය ලියන මොහොතේ මම ද, කියවන ඔබ ද, කොරෝනා ව්‍යසනය හේතුවෙන් නිවසට වී එදිනෙදා කටයුතු අතරමග නවතා නොසන්සුන්කාරී ලෙසින් කල් ගෙවමින් සිටින්නෙමු. පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි මේ මහා උවදුරට වසරක් පමණ ගත වී ඇතත් තව ම එහි නිමක් පෙනෙන්නට නැත. කොරෝනා ව්‍යසනයෙන් මේ වන විට කෝටි 5 ඉක්මවූ ආසාදිතයින් මෙන් ම ලක්ෂ 13කට වැඩි ලොව පුරා මරණ ද වාර්තා වේ. අප රට ද කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත් වී හමාර ය. දිනෙන් දින ඉහල යන රෝගීන් හා මරණ වැඩි වී ඇත්තේ දෙවෙනි වසංගත රැලලෙහි ඇති භයානක බව පසක් කරමිනි. මේ වනවිට රටේ විවිධ ස්ථානවලින් රෝගීන් වාර්තා වෙමින් පවතී. සමාජය ද බියෙන් වෙලී ඇත. සත්‍ය වසන් කිරීම ද රෝගය මෙතරම් ව්‍යාප්ත වීමට එක් හේතුවකි.බොහෝ දෙනෙක් තමන් ආසාදිත බව දැන දැන ම වීදි පුරා සංචාරය කොට, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කොට අවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ පිළිබඳ දැනගත් විට රෝහල්ගත වී ඇත. සැබවින් ම මෙය ඉතා පහත් ක්‍රියාවකි.
මිනිසුන් මෙසේ හැසිරෙන්නේ ඇයි? තම පවුලේ සාමාජිකයින්ට ද රෝගය ව්‍යප්ත කරමින් රෝහල්ගත නොවී සිටීමට හේතුව ඔබ මඳකට සිතා බැලුවෙහිද? ඇතැම්විට ඔබ,මම මෙන්ම බොහෝ දෙනෙකු මෙයට වගකිව යුතු නොවේද? මෙවැනි රෝගියෙකු හෝ එවන් පවුලක් අප ආශ්‍රිත ව සිටින්නේ නම් ඔවුන් දෙස අප බලන්නේ වපරැසින් නොවේද? ඇතැම්විට ඔබ,මම එසේ නොකළද අප රටේ සමාජය එසේ ය. නිරෝධායනයට ලක් වන අසල්වැසියන් නිවෙස්වලින් පීටතට පැමිණි හේතුවවත් නොවිමසා පොලිස් ස්ථානයට ඇමතුම් ලබා දෙන්නේ අප සමාජය විසින් නොවේද? ඇතැම්විට ඒ ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සම්බන්ධ ගැටලුවක් පැන නැගී ඇති හෙයින් විය හැකි ය. දෙවෙනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේ මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තශාලාවක් තුළිනි. එම ආයතනයෙහි පළමු රෝගියා හඳුනාගැනීමේ සිට මේ වනතුරුත් සමාජය අවලාද නගන්නේ එම සන්නාලියන් විවිධ පුද්ගලයින් ඇසුරු කොට වෛරසයට ගොදුරු වූ ලෙසිනි. ඇතැමුන් සිතා සිටින්නේ කොරෝනා වෛරසය ලිංගික ව සම්ප්‍රේෂණය වන බවකි. සැබවින් ම මෙය කෙතරම් අසාධාරණ ද? හොඳ 99ක් කළ ද මිනිසුන්ට සිහි වන්නේ 1 වරදක් පමණි. නොසිතා රෝගී වීමකට? කිසිවෙකු හට වරදක් නොමැති මිනිසුන්ට සමාජය විසින් මෙසේ සැලකිම උචිත ද? මෙවැනි තත්ත්වයක් හමුවේ රෝගය වසන් කොටගෙන සිටින්නට කා හට නොසිතේ ද? ඇතැම්විට අප වුව ද එසේ කරාවි. නිකරුණේ සමාජයෙන් කොන් වනවාට වඩා වෛරසය වැළඳී මිය යාම හොඳ බව සිතට නැඟීම සාධාරණ ය.
මෙලොව ජීවත් වන සියල්ලෝ දුකට අකමැති ය. සැපයට කැමති ය. ජීවිත කාලය තුළ අපට ඕන ම දෙයක් විය හැකි බව සිත්හි තබාගෙන සිටිය යුතු ය. සිරි ලංකාවේ බොහෝ දෙනෙකුට අවශ්‍ය සිස්ටම් චේන්ජ් කිරීමට ය. අනුන්ගේ ඇස්වල රොඩු සොයා යන කී බෝඩ් මත දිවි ගෙවනා උදවියට වෙන වැඩක් නැති ය. ඔවුන්ගේ එක ම රාජකාරිය සිස්ටම් චේන්ජ් කරන්නට උපදෙස් දීම ය. වරදක් දුටු විට නිවැරදි කළ යුත්තේ මිනිසුන් අපහසුතාවයට පත් නොවනා අයුරිනි. වෛරසය වුව ද අද මට හෙට ඔබට විය හැකි ය. සිස්ටම් චේන්ජ් කරන්නට පෙර තමන් තුළ පවත්නා බැක්ටීරියා විනාශ කරගත යුතු ය. පනින්නට පෙර සිතා බැලිය යුතු ය. මේ මොහොතේ සමාජ දුරස්ථ බව රැකිය යුත්තේ මිනිස්කමෙහි මිම්මේ සිට ය. සියල්ලන්ට ම අසීරු මොහොතේ අපි අපිට සහය වෙමු. නිරෝධායනය වන අසල්වාසීන් පිළිබඳ ව දුරකථනය මඟින් සොයා බැලිය හැකි ය. එමඟින් ඔවුන්ගේ ප්‍රයෝගික මෙන් ම මානසික ගැටලුවලට ද විසඳුම් ලැබේවි. එමෙන් ම අපට හැකි නම් තනි තනි ව ආරක්ෂා වීමට, එසේ සිතා සියලු දෙන ම කටයුතු කරන්නේ නම් මෙම වසංගත මාරයාගෙන් ඉක්මනින් මිදෙන්නට අපහසු වන්නේ නැත.
ශ්‍රී ලාංකිකයින් යනු, ශ්‍රේෂ්ඨ ජාතියක් බව ලොව පුරා ම ප්‍රසිද්ධ ය. එබැවින් අපගේ ම සහෝදර ජනතාව වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කොට කටයුතු කිරීම තුළින් සුපුරුදු දිවි පෙවෙතට ලඟා වන්නට වැඩි කලක් ගත නොවේවි.