31 March, 2021

මත්ද්‍රව්‍ය නිවාරණය හා පුනරුත්ථාපනය

 


                               " ලාංකිකයෝ ස්වභාවයෙන් ම මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරති."  

   ඒ රොබට් නොක්ස් එදා අප රට දුටු ආකාරයයි. නමුත් වත්මන? ' මත්ද්‍රව්‍ය ' නම ඇසුන සැනින් ම එහි අරුතටත් වඩා පවත්නා භයානක බව අපගේ සිහියට නැගෙන්නේ නිතැතිනි. විවිධ රසායනිකයන් මෙන් ම ස්වභාවික දේ යොදාගෙන නිපදවන මත්ද්‍රව්‍ය බොහෝ විට ආගමික හා වෛද්‍ය කටයුතුවලට ද යොදා ගැනේ. එසේ බැලුවහොත් අප සෑම අයෙක් ම පාහේ ජීවිතයේ එක වරක් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කොට තිබෙන්නට පුළුවනි. නමුත් ගැටලුව නම් අදාල මාත්‍රාවට වැඩියෙන් භාවිතා කොට මත් වීම ය. 

   සරලව ම කිවහොත් මත් බව ඇති කරන සෑම දෙයක් ම මත්ද්‍රව්‍ය ලෙසින් හැදින්වේ. අප රට තුළ අද වන විට භාවිතා වන මත්ද්‍රව්‍යයන් කිහිපයක් ලෙස අයිස්, හෙරොයින්, කසිප්පු, කොකේන්, අබිං, මොෆීන්, බාබුල්, මත් මුද්දර, Dancing Tablets වැනි ඒවාට අමතර ව පිලිකා හා මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ මෙන් ම කැස්සට ලබා ගන්නා දියරමය ඖෂධ ද සදහන් කළ යුතු ය. ඇබ්බැහියට හේතුව කුමක් වුව ද මේවා අධික ව භාවිතයෙන් එම පුද්ගලයාට කායික ව, මානසික ව, සමාජයීය ව මෙන් ම නෛතික වශයෙන් ද බොහෝ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වේ. වත්මනෙහි පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්, විශ්වවිද්‍යාල ආදියෙහි ඉගැන්වීම් මාර්ගගත ව සිදුවන අතර ඒ ආශ්‍රිත ව ද තම ව්‍යාපාර මෙහයවන්නට මත් ජාවාරම්කරුවන් ගත් උත්සාහයන් පිලිබඳ ව අසන්නට ලැබීම කණගාටුවට කරුණකි. එමෙන් ම කෙතරම් සීමා පැනවුව ද මුහුණු පොත හරහා හමුවන පිරිස් රැස් වී පවත්වන මත් සාදවල ද අඩුවක් නැත. ආහාර ප්‍රවාහනය, දේවාල මුවාවෙන් ද  මත් ජාවාරම් සිදු වන අප රටෙහි වාර්තාවලට අනුව 2019 වසරෙහි දුම්වැටි හා මත්ද්‍රව්‍යවල පමණක් නිෂ්පාදිත ආදායම රු.මි. 58,300.00 ක් වන අතර එම ආදායම ම 2020 වසරෙහි මුල් මාස 8 තුළ රු.මි. 58,949.00 කි. තත්ත්වය මෙසේ වන විට තමන් ව මෙලොවට බිහි කොට සෙනෙහසින් රැකබලා ගත් තම මවට පහර දෙන පුතුන්, විභාග අවසන් වී මත්පැනින් සප්පායම් වන පාසල් දරු දැරියන්, සිර ගෙදර සිටින සැමියා වෙතට මත්ද්‍රව්‍ය ගෙන යන බිරින්දෑවරුන් පිලිබඳ ව පුවත් අරුමයක් නොවේ. මේ හරහා ළමා අපචාර, ස්ත්‍රී දූෂණ මෙන් ම සොරකම් හා මනුෂ්‍ය ඝාතන ද වර්ධනය වේ.   

   මත්ද්‍රව්‍ය මෙතරම් අප රට තුළ ව්‍යාප්ත වීමට බලපා ඇති ප්‍රධාන ම හේතුවක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික මරමස්ථානයක් වීම දැක්විය හැකි ය. එම නිසා මේ වනවිට මත්ද්‍රව්‍ය බරපතල ගැටලුවක් වී හමාර ය. එමෙන් ම මුලින් දැක්වූ පරිදි රජයට ලැබෙන විශාල බදු ආදායම හේතුවෙන් මතට තිත තියන්නට දියවන්නා යන ඇත්තන් තිතට ම මත තබා යන අතර මත් ජාවාරම්කරුවන්ට ලැබෙන දේශපාලනික රැකවරණය ද ඉතා ඉහල බව ප්‍රසිද්ධ රහසකි. මත්ද්‍රව්‍ය සම්බන්ධ ව බන්ධනාගාර ගතවන පිරිසට නිසි පරිදි දඬුවම් නොලැබීම සහ සමාජ මාධ්‍ය මගින් ඇති කොට තිබෙන ජනප්‍රිය සංස්කෘතිය ද මෙයට හේතු වී ඇත.  

                            " බීලා කියවන කොල්ලෙක් නම් හා අම්මේ " ?

   මනෝ චිකිත්සක ක්‍රම මගින් පුද්ගල අධ්‍යාත්මය සංවර්ධනය කිරීම 'පුනරුත්ථාපනය' නම් වේ. විශේෂයෙන් ම නීති විරෝධී ලෙස කටයුතු කළ පුද්ගලයින් ව මෙසේ පුනරුත්තාපනයට යොමු කෙරෙන අතර 1984දී පිහිටවූ 'අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය' යටතේ මෙරට තුළ ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4කි. ඒ 
1. ගාල්ල 
   2. මහනුවර 
   3. නිට්ටඹුව 
 4. කොළඹ
 
වශයෙනි. මත්ද්‍රව්‍ය භාවිතා කළ කාලය, වයස ආදිය සලකා පුද්ගලයින් ව මෙම මධ්‍යස්ථානවලට ඇතුළත් කෙරේ. රාජ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතර ව පෞද්ගලික ආයතන ද මෙරට පවතින අතර ඒවායෙන් ඉටුවන සේවය අතිමහත් ය. එයට කදිම නිදසුනක් ලෙස මෙරට ජනප්‍රිය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් පුනරුත්ථාපනය වී මේ වන විට පෙරට ද වඩා යහපත් ලෙස ජිවිතය ගත කිරීම දැක්විය හැකි ය. එමෙන් ම පුනරුත්ථාපනය වූ පුද්ගලයින්ට රැකියා ලබා දීමේ ක්‍රියාවලියකට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය සිරගත නොකොට වෙනම පුනරුත්ථාපනය කිරීමට ද මේ වන විට සැලසුම් සකස් වන බව අසන්නට ලැබේ. මෙම කාලය තුළ දී රැඳවියන් හට අවශ්‍ය ආහාර පාන, නේවාසික පහසුකම් මෙන් ම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය වෘත්තීය හා අධ්‍යාපනික දැනුම ද ලබා දේ. මීට අමතර ව මේ සම්බන්ධයෙන් කටයුතු කරන තවත් මෙරට ආයතන කිහිපයක් ලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල ආදිය දැක්විය හැකි අතර ඒ උදෙසා සම්මත වූ පනත් කිහිපයක් ලෙස 1929 අංක 17 දරණ සුරාබදු පනත මෙන් ම 2007 අංක 54 දරණ ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එපමණක් නොව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ඉගැන්වීම් සිදු කරන මෘදුකාංග, Facebook පිටු මෙන් ම Youtube නාලිකා ද මේ වනවිට නිර්මාණය වී තිබේ.
 
   මුලින් සඳහන් කළ හේතුවලට අමතර ව දැනට පවත්නා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඩකඩ මඳ වීම නිසා ද ගැටලුකාරී තත්ත්වය තවමත් එසේම පවතී. එමෙන් ම ඇතැමුන් පුනරුත්ථාපන ක්‍රියාවලිය පිලිබඳ ව හරි හැටි දැනුවත් නොවීම ද සිරගත වන ජාවාරම්කරුවන්ට එහිදී නිසි පුනරුත්පථාන ක්‍රියාවලියක් නොමැති වීම ද ගැටලු ය. මතට ඇබ්බැහි වුවන් ම පවසන ආකාරයට මුලින් ම සමාජයෙන් දුරු කල යුත්තේ දුම්වටියයි. එමගින් සුළුවට අරඹා පසුව විශාල මත් ඇබ්බැහියක් බවට නිතැතින් ම පත් වන බව ඔවුහු කියති. සැබවින් ම මත්ද්‍රව්‍ය යනු විකෘතිකාරකයක් මිස ශක්තිජනකයක් නොවන බව සැවොම සිහි තබා ගත යුතු ය.  ඉහත ගැටළු ඉක්මනින් නිරාකරණය කරගතහොත් ජූනි 26 අපට තවත් සාමාන්‍ය දිනයක් පමණක් ම වේවි.